Pages

Monday, September 6, 2021

සංවර්ධිත රටක් වූ ශ්‍රී ලංකාව හා ගොබ්බ ලාංකිකයෝ


ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කුඩා රාජ්‍යකි. කුඩා වුවත්, අතීතයේ සිට අපේ රට ලෝකයේ නම තැබූ රාජ්‍යයකි. අපේ ඓතිහාසික රජවරු මේ මව් බිම ආර්ථික වශයෙනුත් සමාජීය වශයෙනුත් සමෘද්ධිමත් කළෝ ය. සෑම රජෙක්ම එසේ නොකළත් බහුතරය එසේ ය. එවැනි රාජ්‍යයකට වර්ථමානයේ අත් වී ඇති ඉරණම කුමක්ද යන්න සාමාන්‍යයයෙන් සරලව සිතා තේරුම් ගත හැකි කරුණක් ලෙස මම නොදකිමි. අපේ රටේ ඉතිහාසය ගැනත්, යුරෝපීය අධිරාජ්‍යවාදී පාලන කාලය ගැනත්, මෑත කාලීන දේශපාලන ඉතිහාසය ගැනත්, ලෝක දේශපාලන ඉතිහාසය ගැනත් යම් හෝ අවබෝධයක් ඇත්තෙකුට මේ සිදුවන්නේ කුමක්දැයි නිසි ලෙස වටහා ගැනීමට වැඩි හැකියාවක් ඇතැයි පැවසිය හැකිය.


 

අද විවිධ සමාජ මාධ්‍යන් හරහාත් කඩේ ළග එකතුවන පිරිස් සමගත් සිදු කරන දේශපාලන අදහස් දැක්වීම් තුලින් පෙනී යන්නේ ඒ කිසිවෙකුටවත් නිවැරදි අවබෝධයක් නොමැති බවයි. ඒ බොහෝ අය පවසන්නේ මේ ආණ්ඩුවට වඩා ගිය ආණ්ඩුව හොද බවයි. නැතිනම් ජ.වි.පෙ හොද බවයි.එසේත් නැත්නම් කොයිකට දුන්නත් ඔච්චරයි කියායි. ඒ සෑම ප්‍රකාශයකින්ම පෙනී යන්නේ ජනතාවගේ පවතින අබුද්ධිමත් සිතීමේ ක්‍රියාවලියයි. අබුද්ධිමත් පුරවැසියන් වෙනුවට බුද්ධිමත් පුරවැසියන් තැනිය යුතුය. ඒ තුලින් බුද්ධිමත් කතිකාවත් ඇති කළ යුතු ය. ඒ තුලින් පුළුල් ලෙස රටේ ජනතාවගේ හැගීම්, අවශ්‍යතා හා සංකල්පනා නිවැරදි අතට සකස් කළ යුතු ය.බලයේ සිටි, සිටින හා ඉදිරියේදී බලයට පැමිණීමට සිටින සෑම ආණ්ඩුවක්ම පවත්වාගෙන යාමට සැලසුම්කර ඇති රටේ සැබෑ ආර්ථික අවපාතය හා ව්‍යාජ ආර්ථික වර්ධනය යන සංකල්පය බිද දමා සැබැ ආර්ථික වර්ධනයක් මෙන්ම සැබෑ සමාජ සංවර්ධනයක් ද උදා කරගත හැකි වන්නේ එවැනි බුද්ධිමත් පුරවැසියන් සිටිනා රටකට පමණි.

ශ්‍රී ලංකාව එවැනි රටක් යැයි සිතීම මට නම් හාස්‍ය උපදවන්නෙකි. රටේ ජනතාව ප්‍රබුද්ධ පුරවැසියන් කිරීමේ මූලික කාර්ය භාරය පැවරෙන්නේ එරටේ විද්වත් පිරිසටය. අපේ රටේ විද්වත් පිරිස කොහේද? යන්තම් වෙනස් මතයක්, දැක්මක්, චින්තනයක් ඉදිරිපත් කරන්නේ මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය ජේ,බි දිසානායක, ආචාර්ය නලින් ද සිල්වා වැනි විද්වතුන් කිහිප දෙනෙකු පමණි. අපේ රටේ බොහෝ විද්වත්තු නිදි ය. නැතිනම් හොර රහසේම දේශපාලන පක්ෂවල නායකයින්ගේ ගෙවල් අස්සේ ය.

සියවස් ගණනක් තිස්සේ යුරෝපීයන්ගේ යටත් විජිතයක්ව සිටී ශ්‍රී ලංකාවට ඔවුන් ලබා දී ඇති දායාදය වසර 70ක් තිස්සේ අපි භුක්ති විදිමින් සිටි. දැන් එම පර දායාදය ඉවත ලා අපිට ආවේණික අපේම දායාදය භුක්ති විදීමට කාලය එළැඹ ඇත. එළැඹ අතැයි පැවසීම ද වැරදිය. එම දායාදය භුක්ති විදීමට කාලය දැනටමත් පරක්කු වී ඇත. ඒ යටත් විජිතවාදීන් හා සිංහල යටත්විජිත වාදීන් විසින් හංගා දමා ඇති අපේම දායාදය සොයාගැනීමේ මූලික හා ප්‍රධාන වගකීම ඇත්තේ විද්වත් ගිවි පැවදි දෙපිරිසටමය. 

ටික් ටොක් කරන අපේ අනාගතය ඊට වඩා යහපත් රටක් ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් යොදාගත යුතුය. සැබවින්ම ඔවුන් අසරණ ය. ඒ අසරණකම නිසාම ඔවුහු කරන්නේ කියන්නේ කුමක්දැයි නොදනිති. එම නිසා අද අපි කළ යුත්තේ නිවැරදි බුද්ධිමත් ක්‍රමවේදයන් ඉගැනීමය. නොදන්නා අයට ඉගැන්වීම ය. දරුවාට නිවැරදි හා යහපත් අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා දිය යුතු ය. අපි කළ යුතු වන්නේ ප්‍රථමයෙන්ම බුද්ධිමතුන් වීමය. දැනුම යනු නයායාත්ම කරුණු කාරණාය. යමෙක් ඒ දැනුම ප්‍රායෝගිකව සමාජීය ගැටලු වලට ආද්ශ කොට විසදන්නේ නම් හේ බුද්ධිමතෙකි. ඔනෑම අයෙක්ට දැනුම ලබාගෙන උගතෙක් විය හැක. නමුත් බුද්ධිමතෙක් විය නොහැක. බුද්ධිමතුන් උගත්තුද නොවිය හැක. කොග්ගල මහා ප්‍රාඥයා හෙවත් මාර්ටින් වික්‍රමසිංහ සූරින් එවැන්නෙකි.

රටේ අනාගතය මේ පාර්ලිමේන්තුකාරයෝ වූ 255 ගෙන්ද පළාත් සභා හා ප්‍රාදේශීය සභා ඇතුළු සියළුම දේශපාලකයින්ගෙන්ද මුදවා නිවැරදි ආකල්ප සහිත බුද්ධමතුන් වෙත භාර දිය යුතුය. ඒ සදහා අපි බුද්ධිමතුන් තැනිය යුතු වෙමු. ඒ හැර මේ රටේ අභිවෘද්ධියක් ගැන නම් සිහිනයකින්වත් සිතිය නොහැකිය.





No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t