Pages

Monday, September 20, 2021

ලංකාවේ දැනුම බෙදන්නෝ හා දැනුම ලබන්නෝ


 අපි අද දැනුම් ආර්ථිකයක් ගැන කතා කරමු. දැනුමින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට අප සැම එක්විය යුතු යැයි අද ප්‍රවණතාවයක් ද පවති. ඇයි අපි ඉගෙන ගන්නේ? දැනුම යනු කුමක් ද? දැනුමෙන් පරිපූර්ණ විය හැකි ද?

දැනුම යනු සාපේක්ෂ දෙයකි. එය තව කෙනෙක් විසින් තව දෙයක් විසින් හෝ ස්වාභාවික හේතුවක් නිසා නිපදවන හෝ නිපදවනු ලබන දෙයකි. ස්වභාවික සංසිද්ධීන් පිළිබද කරුණු කාරණා දැන ගැනීම දැනුම වැඩි කරන්නෙකි. කෙනෙක් විසින් නිෂ්පාදනය කරන ලද මතයක් හෝ භෞතික වස්තුවක් පිළිබද දැන ගැනීම දැනුම ලබා ගැනීමකි. ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපන ක්‍රමය තුල ඇත්තේ දැනුම වඩාගැනීමයි.

පාසලේ සාමාන්‍ය පෙළට උගත් දෑ උසස් පෙළින් පසුව අපි හැමෝටම වාගේ අමතක වී යන්නෙමු. සාමාන්‍ය පෙළෙට සිංහල භාශාවේ වාක්‍ය රීති ඇතුළු ව්‍යාකරණ ඉගෙනගත්තත් වාණිජ හෝ විද්‍යා වැනි විෂය ධාරාවන් හදාරන සිසුන්ට ඒවා ඒ කාලයේදීම අමතකය. සමහර අයට ඒවා උසස් පෙළින් පසුව අමක වී යති. එසේ වන්නේ පාසැල්වල පවතින උග්‍ර එහෙත් අපි නොදකින දැක්කත් නොදැක්කා සේ ඉන්න ශාස්ත්‍රීය අර්බුධය හේතු කොට ගෙනය. අධ්‍යාපනය ලැබීම හා දැනුම ලැබීම අතර මහා ලොකු වෙනසක් නැත. අධ්‍යාපනය විධිමත් ආයතන පද්ධියක් තුල පොත්පත් හා ගුරුවරුන් මගින් යම් නීති රීති, රෙගුලාසි හා විෂය නිර්දේශයක් යටතේ ශිෂ්‍යයෙකුගේ වයස් මට්ටම් අනූව වෙනස්වන රටාවකි. දැනුම ලබා ගැනීමට ඊට වඩා පුළුල් දායකත්වයක් ලබා ගත හැකිය.

විශ්ව විද්‍යාල තුල ඇත්තේ තරමක් වෙනස් අධ්‍යාපන රටාවකි. යමක් දෙස පුළුල්ව බලා දැනුම ලබා ගැනීමයි. එහි ඉන්නේ ශිෂ්‍යන් නොවේ. විද්‍යාර්ථයීන් ය. එහෙත් මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමවේදයෙන් බිහි වෙන චින්තකයෙක් සෑහෙන කළක් තිස්සේ අපි නොදුටුවෙමු. එයට ද හේතුව විශ්ව විද්‍යාල තුලත් ඇති උග්‍ර ශාස්ත්‍රීය අර්බුධයයි.

සමහරු එක් වීෂයක් සදහා ඉහළ දැනුම් සම්භාරයක් ලබා ගෙන උගතෙක් විය හැක. පොත් පත් වලින් අත්දැකීම් වලින් උකහාගත් දැනුම ඔහුගේ දැනුම වර්ධනය වීමට බලපෑම් කළ හැකිය. අද ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවලත් වෙබ් අඩවි වලත් දැනුම ලබා දීමට අවශ්‍ය නාලිකා හා සමූහයන් දකින්නට ඇත. විවිධ අය විවිධ මාතෘකා යටතේ දැනුම බෙදාදීමේ කටයුතුවල නිරත වනු මම දැක ඇත්තෙමි. එහිදි ඒ ලිපි වල අන්තර්ගතය සම්බන්ධයෙන් නම් මට ඇත්තේ දැඩි කනසල්ලකි. දිය යුත්තේ හොදම දේය, නිවැරදි දේය, සමහර ලිපි පිළිබද ඇති වැරදි තැන් නිවැරදි කරන ලෙස ඉල්ලුවත් ඒවා සිදු නොවුනි. මේ තත්වය බොහෝ දුරට ඇත්තේ යූ ටියුබ් හා ෆේස්බුක්වලය. 

සමහරු ප්‍රසිද්ධිය පතා නිරුවත් වෙති. සමහරු අඩ නිරුවතින් විසූක දස්සන පෙන්වති. සමහරු ප්‍රසිද්ධ චරිතයකට බැන වදී. තවත් සමහරු ප්‍රසිද්ධ වීමට මේ තියෙන්නේ නිවැරදි දැනුම යැයි පවසා බොරු පවසති. නමුත් අද නිවැරදි දේ හෙට වැරදි විය හැක.එය දැනුමේ ස්වභාවයයි. නිදසුනකට, දිනක් ෆේස්බුක් හි පළ වී තිබු ලිපියක් කියැ වූ මා හට දැක ගන්නට ලැබුනේ මිසිසිපි ගංගාව ලෝකයේ ආපස්සට ගලන එකම ගංගාව කියායි.එහෙත් එය නිවැරදි නොවන බවත් ඇමර්සන් ගංගාවත් ගලන්නේ ආපස්සට බවත් මම සදහන් කළෙමි. එක්සත් රාජධානිය සම්බන්ධයෙන්ද මෙවැනිම කරුණක් මම නිවැරදි කළෙමි. මේ අවස්ථාවේ ඒ කාරණාව මට නිච්චි නැත. ලෝකයේ දියමන්ති නිෂ්පාදනයෙන් ප්‍රථමස්ථානය ලබා ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාව නොව රුසියාවයි. මේවා මා විසින් නිවැරදි කළත් එම ලිපිවල අයිකරුවන් ඒ නිවැරදි කිරීම් සිදු කර නොමැත. 

තවත් සිද්ධියක් මට මතකය. එක්තරා ලිපියක අගමුල නොගැළපුණි. මම ඒ පිිළිබද සොයා යාමේදී තේරුම් ගියේ එක්තරා ඉංග්‍රීසි වෙබ් අඩවියක පළ වී තිබූ ලිපියක් එහෙන් පිටින්ම ගූගල් පරිවර්ථකය( google translator) හරහා පරිවර්ථනය කොට ෆේස්බුක් සමූහ තුල පළ කර ඇති බවයි. ඒ පමණක් නොව අදාල ලිපිවලට යටින් මා විසින් නිවැරදි කර ඇති කොමෙන්ට්ස් පළ කර තිබෙනවා දැක දැක ඇතැම් අය ලිපිය ප්‍රශංසාවට භාජනය කොට ඇත. මේ සෑම කාරණයකින්ම පෙනී යන්නේ ලියන්නෝ මොනවා ලීවත් කියවන්නෝ සිහි කල්පනාවෙන් නොකියවන බවයි. ලියන දේ පිළිබද හරි හැටි අවබෝධයකින් තොරව ලියන ලියන්නෝත් සිහි කල්පනාවෙන් තොරව ලිපි කියවන පාඨකයෝත් ලිපි නොකියවා ඒ පිළිබද අදහස් දක්වන අධීමත් පාඨකයෝත් සිටින තාක්කල් මේ ලාංකේය සමාජය අපි කෙසේ නම් සබුද්ධිමත් සමාජයක් කරන්නෙමුද?

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t