Pages

Saturday, July 10, 2021

අවුරුදු 15ක දැරියන් දූෂණය වන්නේ කෙසේද?

මේ දිනවල ජන මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් වයස අවුරුදු පහළවක (15) දැරියක්  අන්තර්ජාලය ඔස්සේ ගණිකා සේවයේ යෙදවීමේ පුවතක් සම්බන්ධ තොරතුරු අසන්නට ලැබේ. මෙහි පුදුම එළවන සුලු කරුණ වන්නේ එය නොවේ. එම දැරිය එම ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට ඇගේ මවත් අත් අඩංගුවට ගැනීමයි. කෙසේ හෝ වේවා, ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ වාර්ථාවන පළමු සිද්ධිය ද මෙය නොවේ. අවසාන සිද්ධියද මෙය නොවේ. මේ පිළිබදව විමර්ෂනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීම සමාජ සුබසිද්ධිය උදෙසා වැදගත් බව පෙනී ගිය හෙයින් මෙම ලිපිය සකස් කිරීමට සිතුවෙමි. 


 

වයස අවුරුදු 18ට වැඩි සියළු දෙනා ළමයින් ලෙස නිර්වචනය කර ඇති බව අපි හොදින්ම දනිමු.ඒ ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතියේ 1වන වගන්තියට අනුකූලවයි. ඒ අනූව ඉහත දැක්වූ සිද්ධියේදී ගණිකා සේවයේ යොදවන්නේ වයස අවුරුදු 15ක දැරියකි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතියට අනූව ඇය ළමයෙකි. එම සිද්ධිය ටික වේලාවකට පැත්තකින් තබමු. ෆේෂ්බුක් හරහා මිත්‍ර වූ තරුණයෙක් තවත් වසය අවුරුදු 15ක දැරියකට අසභ්‍ය දර්ශන හා ජායාරූප එවීමත් ලිංගික බලහත්කාරකම් කිරීමට සැරසීමත් නිසා ඇය හා ඇගේ මව නීතියේ පිහිට පතා පොලිස් ස්ථානයට පැමිණියාය.එහදි පොළිස් නිළධාරියෙක් විසින් ඇයට ලිංගික බලහත්කාරකම් කිරීමට උත්සහා ගිනිද්දී අපට හැගී යන්නේ අපට කාගේ පිහිටක්ද යන්නයි.මේ සිදුවීමේදීත් අපයෝජනයට ගොදුරුවන්නේ තවත් වසය අවුරුදු 15ක දැරිවියකි. මේ සිදුවීමද ළමා අපයෝජනයකි. ඉන් පසුව වසය අවුරුදු 19ක තරුණියක් බසයක් තුල අපයෝජනයට ලක්වන්නේ රියදුරා හා බස් රථ සහයකයා අතිනි. ඇය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතියට අනූව ළමයා යන ගණයට නොවැටේ. ෆේස්බුක් හරහා වයස අවුරුදු 40ක එක් දරු මවක් වයස අවුරුදු 31ක පුද්ගලයෙක් සමග මිත්‍රවනවන අතර  සිය විකෘති කාමාශාවන් ඔහු විසින් ඇයගෙන් ඉටු කරගනී. එසේම වේල්ලවීදියේ සිදුවුනු වයස අවුරුදු 30ක හිස අහිමි කාන්තා මළ සිරුරද මම මේ අවස්ථාවේ තවත් එක් සිදුවීමක් ලෙස ඔබට මතක් කරමි. ඉහත සිදුවීම් 2කදී වයස අවුරුදු 15ක දැරියන් අපයෝජනයට ලක්වන නිසා ඒවා ළමා ලිංගික අපයෝජන ලෙසත් පසු අවස්ථාවන් හීදි වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට සිදු වු අතවර නිසා ඒවා කාන්තා අපයෝජනය කිරීම ලෙසත් පෙන්වා දිය හැක. මේ සිද්ධියකම සිදුවන්නේ අපේම සහෝදරියක්, අපේම කාන්තාවක් විනාශයට පත් කිරීම පමණි.

අපේ ප්‍රධාන මාතෘකාව ළමා අපයෝජනය හා ස්ත්‍රී දූෂණයයි. මෙලෙස දැරියන් හෝ දරුවන් කායිකවත් මානසිකවත් හිංසාවට පත්වන්නේ ඇයි? වයස අවුරුදු 18ට අඩු දැරියන් දූෂණයට ලක්වන්නේ ඇයි? මෙහි වගකීම යා යුත්තේ කාටද?

ළමා අපයෝජනය යනු වයස අවුරුදු 18ට අඩු දරුවන් සදහා පිටස්තරයෙන් ඇතිවන ඕනෑම ආකාරයක පීඩාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දක්වයි. ළමා අපයෝජනය සදහා පහත දෑ අන්තර්ගතය.

1. අසභ්‍ය වචනයෙන් බැන වැදීම

2. අනවශ්‍ය ආකාරයෙන් දරුවෙකුට විහිළු කිරීම

3. අසභ්‍ය දර්ශණ, ජායාරූප හෝ කතා පෙන්වීම

4. ස්පර්ෂ කිරීමට අකමැති හෝ උවමනා නැති සිරුරේ ස්ථාන ස්පර්ෂ කිරීම- ලිංගික බලපෑම්

5. තමන්ව ස්පර්ෂ කිරීමට ළමයෙකුට බලපෑම් කිරීම - ලිංගික බලපෑම්

6. දරුවෙකුගේ ආත්ම විශ්වාසය බිද දැමීමට කටයුතු කිරීම

7. පහරදීම් හා කායික හිංසා

8. දරුවන් ගැන නොසැලිකිලිමත් වීම

9. දරුවන් සේවකයන් ලෙස යොදා ගැනීම

10. දරුවන්ට ඇහුම්කම් නොදීම

11. දරුවන්ගේ මානසික අවශ්‍යතා නොසලකා හැරීම

12. අධ්‍යාපන හා සෙල්ලම් කිරීමට අවශ්‍ය කාලය අහිමි කරමින් සේවයේ යෙදවීම

13. පාසලේදී දරුවාට පහර දීම හෝ සමච්චල් කිරීම

14. දරුවාගේ වෛද්‍ය අවශ්‍යතා නොසළකා හැරීම

15. දරුවගේ අධ්‍යාපන අවශ්‍යතා නොසළකා හැරීම

16. දරුවාව බලාගැනීමට කෙනෙක් නොමැතිව දරුවා තනි කර යාම. මේ ආදි බොහෝ දෑ ළමා අපයෝජන ගණයට අයත් වේ. 


මේහිදී අපේ අරමුණ ළමා ලිංගික අපයෝජන හා ස්ත්‍රී දූෂණය ගැන කතා කිරීමයි. ළමා ලිංගික අපයෝජනය යනු කුමක්දැයි තේරුම්ගැනීම මෙහිදී වැදගත් වේ. විවිධ තැන්වල ළමා ලිංගික අපයෝජනය සම්බන්ධ නිර්වචනයන් පවති. ඒ සියල්ලක්ම උපයෝගී කරගනිමින් සරල නිර්වචනයක් ගොඩනගා ගැනීමට උත්සහා කරමු. “වයස අවුරුදු 18ට අඩු ළමා හෝ නව යොවුන් වියේ දරුවෙකු ඊට වඩා දැනුමක්, වයසක් හා අත්දැකීමක් සහිත පුද්ගලයෙකු විසින් ලිංගික ක්‍රියාවන් සදහා යොදවා ගැනීම” ළමා ලිංගික අපයෝජනයයි.


ඒ අනූව වයස අවුරුදු 18කට වඩා අඩු දරුවෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ලිංගික ක්‍රියාවන් සදහා යොදාගනු ලබන්නේ නම් එය ළමා ලිංගික අපයෝජනයකි.මෙහිදී දරුවාට ඒ සදහා දැනුමක් තිබිය හෝ නොතිබිය හැකියි(ක්‍රියාවට බලපෑම් කරන අනිත් පුද්ගලයාට සාපේක්ෂව). එසේම ලිංගික ක්‍රියාවන් සදහා තවමත් කායිකව හා මානසිකව පරිණතභාවයක් පෙන්නුම් කර නොමැති වීමද විශේෂය.


අපයෝජනය සිදු කරන පුද්ගලයා අපයෝජනය සදහා යොදාගන්නා දරුවාට වඩා වයසින් වැඩිය. දැනුමෙන් වැඩිය.අත්දැකීමෙන් වැඩිය.ඔහු විසින් සිය ලිංගික තෘප්තිමත් භාවය පිණිස සිදු කරන ඕනෑම ක්‍රියාවක් ( ශාරීරික ක්‍රියාවන්, දෘශ්‍යමය ක්‍රියාවන් හෝ වාචික ක්‍රියාවන්) ළමා ලිංගික අපයෝජනයකි.


ළමා ලිංගික අපයෝජනයක් සිදුවන්නේ ගැහැණු දරුවන්ට පමණද? කොහෙත්ම නැත. පිරිමි දරුවන්ද ලිංගික අපයෝජන සදහා ගොදුරු වේ. එලෙස ගොදුරුවන දරුවන් තුල ඇතිවන බිය,මානසික වියවුල්බව, කළකිරීම, අපවිත්‍රබව,වෛරය, වරදකාරී හැගීම් ආදිය ඇති වේ. එය දරුවාගේ අනාගත මානසික මෙන්ම කායික සංවර්ධනයටත් දැඩි බලපෑම් ඇති කරයි.

මෙහිදී දරුවා පිටස්තර සමාජයට මුහුණ දීමට ඇති නොහැකියාව, අධ්‍යාපනය තුල සිදුවන කඩා වැටීම වැනි අයහපත් විපාක ගෙන දේ. එහි ප්‍රතිපලයක් ලෙස අපයෝජනයට ලක් වූ දරුවන් අනාගතයේදී තව තවත් ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීම, ලිංගික ක්‍රියාවලීන් හීදී බිය වීම හෝ ප්‍රතික්ෂේප කිරීම, ඒ තුලින් විවාහ ජීවිතයේ ගැටළු ඇති වීම, අපයෝනයට ලක් වූ දරුවන්ම අනාගතයේ අපයෝජකයන් බවට පත්වීමේ අවධානම, අපයෝජනයට ලක්වූ දැරියන් ගණිකා සේවයේ යෙදවීම හෝ යෙදීම, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා දිවිනසා ගැනීමට වැඩි ඉඩකඩක් පැවතීම වැනි තමාටත්, සමාජයටත්, සමස්ථයක් වශයෙන් රටේ අනෙකුත් අංශවලටත් අයහපතක්වන ආකාරයේ ප්‍රතිපල ගෙන දේ.

මීළගට අප සොයා යා යුත්තේ මෙවැනි අපයෝජකයන් කවුරුන්ද යන්නයි. බොහෝ දුරට සමස්ථයක් ලෙස පුරුෂයින් අපයෝජකයින් බවට පත්වී තිබේ. වැඩිමනක් පුරුෂ අපයෝජකයින් ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද අපයෝජනය කරන අතර කාන්තාවන් විසින්ද අපයෝජකයින් ලෙස වාර්ථා වී ඇති බවද අපි දනිමු.බොහෝ විට මෙවැනි අපයෝජකයින් තමන් දන්නා හදුනන අය හෝ ඥාතීන් වේ. අපයෝජකයින් නන්නාදුනන අපයෝජකයින් වන්නේ කළාතුරකිනි. තම පියා, සහෝදරයා හෝ සහෝදරිය, වෙනත් ඥාතීන් මෙන්ම අසල්වාසීන්ද ඒ අතර සිටිය හැක.එකසත් ජනපදයේ දූෂණට ලක්වන හෝ අතවරයට පත්වන කාන්තාන්ගෙන් 70%ක්ම ඔවුන්ගේ අපයෝජකයා හෝ දූෂකයා හදුනති.


 

ලෝකයේම වාර්ථාවන ළමා ලිංගික අපයෝජන හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ගතහොත් වින්දිතයින් 93%ක්ම තමන්ගේ අපයෝජකයාව හෝ දූෂකයාව අදුරති. එයින් 59%ක්ම අසල්වාසීන්,ගුරුවන්, පූජ්‍ය පක්ෂය ආදී හොදින් දන්නා පිරිසයි. 34%ක් පවුලේ සමාජිකයින් වේ. ඉතිරි 7% නන්නාදුනන අපරාධකරුවන්වේ.

කලක් තිස්සේ අපයෝජනය සිදු කරගෙන යාමට අපයෝජකයින් සමත්ය. එයට හේතුවන, ආධාරකවන වෙනත් හේතුද පවතී. අපි ඒ සම්බන්ධවද සොයා බැලිය යුතුය. ඊට මත්තෙන් මෙවැනි ළමා ලිංගික අපයෝජනයක් සිදුවීමට බලපාන කරුණු මොනවාදැයි යන්න විමසා බලමු.

ළමා ලිංගික අපයෝජනයක් සිදුවීමේදී ඒ සදහා පාර්ශව දෙකක් සම්බන්ධවේ. එක පාර්ශවයක් වන්නේ අපයෝජකයායි. අනිත් පාර්ශවය අපයෝජනයට ගොදුරුවන වයස අවුරුදු 18ට අඩු දරුවයි. මේ පාර්ශව දෙකටම බලපාන සාධක සොයා බැලිය යුතුය.

මේ සම්බන්ධයෙන් අපි සාම්ප්‍රදායික ක්‍රමයට ඔබ්බෙන් ගොස් නව මානයකින් බැලිය යුතුය. විවිධ සමාජ විද්වතුන් මේ විෂය පිළිබද වටිනා නිබන්ධන හා ලිපි ලියා ඇත. නමුත් ඊටත් වඩා මේ දෙස පුළුල් ලෙස බැලිය යුතු බව මගේ අදහසයි. මීට පෙර මේ සම්බන්ධයෙන් නිරීක්ෂය කර ඇති විමර්ෂණය කර ඇති විද්වතුන් ළමා ලිංගික අපයෝජනයට හේතු භූතවන කරුණු 4ක් පෙළගස්වා ඇත.

ළමා අපයෝජන සදහා හේතුවන කරුණු

1. සමාජීය හේතු

2. ආර්ථික හේතු

3. සංස්කෘතික හේතු

4. සෞඛ්‍ය හේතු

සමාජීය හේතු ලෙස එම විද්වතුන් දක්වන්නේ පවුල් සංස්ථාවේ සිදු වී ඇති වෙනස්කම් ආදියයි.  විස්කෘත පවුලෙන් මිදී න්‍යෂ්ටික පවුලකට පැමිණිමෙන් ළමයාගේ රැකවරණය ගිලිහෙන බවත් එම නිසා ළගම ඥාතියෙක්ගෙන් හෝ අසල්වාසියෙක්ගෙන් අපයෝජනයක් සිදුවීමේ සම්බාවිතාව වැඩි බවත් ඔවුන් පෙන්වා දෙයි.

රටක ආර්ථික තත්වයද ළමා ලිංගික අපයෝජනයට මූලික හේතුවක් බව එම විද්වත්හු ප්‍රකාශ කරති. එනම් ළමා ගණිකා සේවය වඩා ලාභදායි ව්‍යාපරයක් නිසාත්, පවුලේ ආර්ථික අගහිගතා නිසාත් මෙවැනි අපයෝජනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිය. කෙසේ වෙතත් ඉහළ ආර්ථික මට්ටමක් සහිත දරුවන් පවා මෙම අපචාර ක්‍රියාවන්ට ගොදුරු වන අවස්ථා වාර්ථා වී ඇත.

සංස්කෘතික හේතු වශයෙන් පෙන්වා දෙන්නේ රටේ සමස්ථයක් ලෙස මව්වරුන් හා පියවරුන් වැඩිපුරම ආරක්ෂා කිරීමට යොමුවන්නේ ගැහැණු දරවන් වන අතර පිරිමි දරුවන් එම ආරක්ෂාවෙන් ගිලිහෙයි.ඒ නිසාම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ගොදුරුවීමේ වාර්ථා ඕනෑ තරම් ඇත.එසේම ලිංගිකත්වය සම්බන්ධයෙන් මව හා පියා දරුවන් සමග විවෘතව කතා නොකිරීමේ සංස්කෘතික සම්ප්‍රදායක් ඇත.ඒ තුලින් ලිංගිකත්වය සම්බන්ධ දැනුම අල්ප බැවින් එවැනි ව්‍යසනකාරී ක්‍රියාවන්ට ගොදුරුවීමේ ඉඩ කඩ වැඩි බවත් පෙන්වා දේ.

අපයෝජනයන් සදහා සෞඛ්‍ය හේතුද පවතින බව එම ලිපිවල පෙන්වා දී තිබේ. දරුවන්ට සමාජ රෝග වැළදීමේ හැකියාව ඉතාම පහළ මට්ටමක පවතින නිසා දරුවන් සමග ලිංගික ක්‍රියාවේ යෙදීමට ඇතමුන් කල්පනා කරනවා වන්නට පුලුවන.

නමුත් අපි මෙහිදී පුළුල්ව සාකච්ඡා කළ යුතු කාරණා දෙකක් තිබේ. ඒ අපයෝජකයාගේත් වින්දිතයාගේත් මානසික මට්ටම් හා එම මානසික මට්ටමට හේතු, එසේම ළමා අපයෝජනයෙහිලා වැඩිහිටියන්ගේ කාර්ය භාරයයි. 

බොහෝ දෙනෙක්ගේ මතය වන්නේ අද සමාජය තිරිසන් සමාජයක් වෙමන් පවතින බවයි. පළමු ළමා ලිංගික අපයෝජනය හෝ ස්ත්‍රී දූෂණය වාර්ථා වූ දිනයේ සිට මේ දක්වා වූ දත්ත සැලකීමේදී මේවායේ වැඩි වීමක් මිස අඩු වීමක් දක්නට නොලැබේ. 2017 වසර අවසානය වන විට ළමා අපයෝජන සිදුවීම් 17,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත. 2018වන විට එම ප්‍රමාණය 20,000 ඉක්මවා ගොස් ඇත.

2020 වසරේ පළමු දින 15 තුල වාර්ථාවී ඇති ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 140ක් හෝ ඊට වැඩිය. ලිංගික අපයෝජන ප්‍රමාණය 42ක් හෝ ඊට වැඩිය. මේ බව සදහන් කලේ අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු 2020 වසරේ පෙබරවාරි මස සිය පාර්ලිමේන්තු කතාවේදී ය. 2017 දී වාර්ථාවන ස්ත්‍රී දුෂණ ප්‍රමාණය 294කි. 2018 වසරේදී 345ක සිද්ධීන් වාර්ථා වීමක් පෙන්නුම් කර තිබේ. මේ වාර්ථා වීම වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ සත්‍ය වශයෙන්ම නව සිද්ධීන් වාර්ථා වීමද? නැතිනම් පරණ නැවත වාර්ථාවීමද? ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති මාහාචාර්ය මුදිතා පතිරණ ප්‍රකාශ කරන්නේ නව සිද්ධීන් වාර්ථා වීඹ මෙලෙස සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවයි.එහෙත් ඊට කලින් සිදු වී ඇති සිදුවීම් වාර්ථා නොවී ඇති නිසා සත්‍ය ලෙස සිද්ධීන් වැඩි වීමට වඩා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ගැන විශ්වාසය තබා එම සිද්ධීන් පැමිණිලි කර ඇති බවයි.

ළමා ලිංගික අපචාරත් ස්ත්‍රී දූෂණයත් සිදුවන්නේ එම දරුවාගේ හෝ ස්ත්‍රීයගේ කැමැත්තෙන්ද? අකමැත්තෙන්ද? නැතිනම් සමාජය තුල විකෘතිවූ අධික කාමාශක්ත පිරිමින්ගේ ගහනය වර්ධනය වීමෙන්ද? ස්ත්‍රීය සෑම විටම ස්ත්‍රී දූෂනයේදී නිවැරදිද?

ස්වභාවිකවම සත්වයින් රාගිකය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රජනනය තුලින් තම ප්‍රජාව බිහි කිරීමට එම සත්වයින්ට හැකිය. මනුෂ්‍යාටද එම රාගික මනස හිමිය. ඔහුද එහි ප්‍රතිපලයක් ලෙස දරුවන් බිහිකරයි. මෙහිදි අනිත සත්වයින්ට වඩා මනු සතා වෙනස්වනනේ උසස් මනසක් හිමි වී තිබීම නිසා බව අපි දනිමු. එම නිසා කාලයක් පටන් සමාජය තුල යම් සභ්‍යත්වයක් ගොඩනාගාගෙන ඒ තුල සාමයෙන්,සතුටින් හා පිරිසිදුව ජීවත්වීමට අවශ්‍ය පද්ධතියක් ගොඩනගාගෙන සිටි. එහෙත් වාර්ථා වෙන ළමා ලිංගික අපයෝජනයන් සැලකීමේදී පියා හෝ මව විසින් සිය දියණීය හෝ දරුවාත්, සීයා විසින් සිය මිනිපිරිය හෝ මුනුපුරා, සහෝදරයා හෝ සහෝදරිය විසින් තමන්ගේම සහෝදරිය හෝ සහෝදිරියත්, බාප්පා පුංචි අම්මා වැනි ඥාතීන් විසින් ඔවුන්ගේම ඥාති දියණිවරුන් හෝ දරුවන් අපයෝජනය වීමත්, අසල්වාසීන් විසින්  ළමයින් ලිංගික අපයෝනය සිදු කිරීමත් සිදුවේ. තම මවගේ අනියම් සැමියා අතින් දූෂණය වන දියණියන් කොතරම් ප්‍රමාණයක් මේ සිරිලක ජීවත් වේද?

තාක්ෂණය දියුණුවත්ම අපි මුළු ලෝකයම ඇගිලි තුඩු අතරට පැමිණ තිබේ. එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිපළ අපි විසින් විදිමින් සිටි. විශේෂයෙන්ම කාමෝත්පාදක දර්ශන සහිත වෙබ් අඩවි තුලින් තමන්ගේ මනස අධික හා විකෘති කාමාශක්ත පිරිමියෙක් හා ගැහැණියක් බවට පත් කරමින් සිටි. ඒ නිසාම කාමාතුරයන් වැඩි වීමක් මිස අඩු වීමක් ගැන නම් හීනෙන්වත් සිතිය නොහැක.අසභ්‍ය චිත්‍රපට, ඡායාරූප,කතා රූපක සහා හඩ පට සහිත වෙබ් අඩවි අති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ගේ මනස තුල අධික කාමුක හැගීම් පහළවන අතර ඒවා පිට කරගැනීමට නොහැකිව මහත් පීඩාවෙන් වෙසේ. එවැනි පිරිමින් හා කාන්තාවන් අපයෝජකයන් බවට පත් වේ.අපයෝජනය සදහා අපයෝජකයාට පහසු ගොදුරු බවටද පත්වේ. අකමැත්තෙන් වුවත් අපට පිළිගැනීමට සිදුවන දෙයක් ඇත.ඒ සිය කැමැත්තෙන්ම  අනියම් පුද්ගලයන් සමගින් සිය විකෘති කාමාශාවන් ඉටු කරගන්නා කාන්තාවන්ද ඕනෑ තරම් සිටි. නීතියට හෝ වෙනත් මගකින් ඒය හසු වූ විට තමා එම පුද්ගලයා අතින් දූෂණය වූ බව පවසා ජාමේ බේරා ගන්නා කාන්තාවන්ද සිටි. එම නිසා අසභ්‍ය වෙබ් අඩවි වලින් පීඩාවට පත්වන්නේ පිරිමින් පමණක් නොව ගැහැණුන්ද එයට අයත් වේ.

එම නිසා අපයෝජනයකදී හෝ දූෂණයකදී සම්පූර්ණ වැරැද්දම පැටවෙන්නේ පිරිමියා මතය. මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීමෙන් හැගවෙන්නේ අපයෝජනය කරන හෝ දූෂණය කරන පිරිමියා නිවැරදි යන්නම නොවේ. අපයෝජනයකට හෝ දූෂණයකට ඔවුන්ව පෙළෙඹවන සාධක පවතී. අසභ්‍ය දර්ශන නැරඹීම එයින් එක් සාධකයක් පමණි. පිරිමින්ගේ කාමාශාවන් අවුලුවාලන ආකාරයේ කාන්තාවන්ගේ හැසිරීම ද හේතුවකි. එවැනි මුග්ධ කාමාශාවන්ගෙන් පීඩා විදින මනස නිරායාසයෙන්ම එය පිට කරගැනීමට උතසහා දරයි. එහි භයානකම ප්‍රතිඵලය වන්නේ ළමා ලිංගික අපයෝජනය හා ස්ත්‍රි දූෂණයයි.

වර්ථමානයේ පවුල් සංස්ථා න්‍යෂ්ටික පවුල්ය. මව, පියා හා දරුවන්ගෙන් එය සමන්විතය. මව හා පියා දෙදෙනාම රැකියාවට පිටත්ව ගියහොත් ඉතිරිවන්නේ දරුවන් පමණි. සිය ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම, ඒ තුලින් මනස දූෂණය කර ගැනීම, තනියෙන් හා පාළුවෙන් සිටින නිසා සමාජ මාධ්‍ය ඔස්සේ සහකරුවන් හා සහකාරියන් සොයා ගැනීම, ඒ තුලින් තම ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමට කටයුතු කිරීම සිදුවේ. මේ දරුවන්ට පමණක් නොව කාන්තාවන්ටද ඇතිවන තත්වයකි. විශේෂයෙන්ම සැමියා මිය ගිය හෝ අත් හැර දමා ඇති හෝ රැකියාව සදහා දුර පළාතකට සැමියා ගොස් සිටින කාන්තාවන් පවා විශාල වශයෙන් අපයෝජකයන්ගේ ගොදුරු බවට පත්වන්නේ ඉතා පහසුවෙනි.

ෆේස්බුක්, ව්ට්සැප් හෝ වයිබර් හරහා මිතුරුවන ඔවුනොවුන් ප්‍රේම සබදතාද අරඹා ලිංගික ආශාවන් ඉටු කරගනිමින් ජීවිතයට සමුදෙන අවස්ථා අප දැක. මෙහිදී කාන්තාව පුරුෂයා සමග එවැනි ක්‍රියාවන්වල හා සබදතාවල නියැලෙන්නේ සැබෑ ආදරණිය මානසිකත්වයෙන් විය හැක. නමුත් පුරුෂයාගේ අරමුණ අපයෝජනයයි. කාන්තාවන් තුල ඇති බරපතල වරද වන්නේ රැවටීමට භාජනය වීමයි. වේල්ලවීදියේ සිදුවීමෙන් පවා පෙන්නුම් කරන්නේ එම කාන්තාව තුල තිබුණු රැවටීමට භාජනය වීමේ දුර්වලතාවයයි. එය සිදුවන්නේ බුද්ධිමත් භාවයේ අඩු වීමකතින්ද? රටක ජනතාව සබුද්ධිමත් ජනතාවක් කිරීමේ කාර්ය කෙතරම් වැදගත්දැයි යන්න මෙයින් හෙළි වේ.

එම නිසා ළමා ලිංගික අපචාර වලදීම දරුවන් එම ක්‍රියාවන් සම්බන්ධයෙන් නොදැනුවත් වීම මෙන්ම කාන්තාවගේ රැවටීමට භාජනය වීම පෙන්නුම් කරන ඔවුන්ගේ අබුද්ධිමත් භාවයට පිළියම් සෙවිය යුතුය. සමාජ මාධ්‍ය හරහා මිතුරුවෙමන් සිදුවන කාන්තා අපයෝජන හා දූෂණ කාන්තාවන්ගේ බුද්ධිමත්භාවය නිරීක්ෂණය කල හැකි මිම්මක් බව මගේ කියැවීමයි. එම නිසා ළමයින්ට ලිංගික අධ්‍යාපනයත් ඒවා තම සමීපතමයින් වන මව හෝ පියා සමග සාකච්ඡා කිරීමේත් සංස්කෘතියක් ගොඩනගාගත යුතුය. සියළු දෙනා සියළු දෙනාට විවෘත විය යුතුය.

 බොහෝ අය යෝජනා කරන්නේත් ළමයින්ට ලිංගිකත්වය පිළිබද අවබෝධයක් ලබා දීමෙන් අපයෝජනයෙන් ගැලවීමට හැකිවන බවයි. ඒ තුලින් ළමා අපයෝජන වාර්ථා ප්‍රමාණය අඩු කරගත හැකි බවයි. මේ කාරණයේදී යුරෝපීය රටවල් ලිංගිකත්වය සම්බන්ධ කාරණා විවෘතව කතා කරන බව අප අසා ඇත්තෙමු.මේ කතාව නිරවද්‍යාතව සොයා බලමු.

මේ කරුණු මැන බැලීම සදහා ලෝක ළමා පදනම හා ආර්ථික විද්‍යාඥ බුද්ධි ඒකකය විසින් කරනු ලැබු සමීක්ෂණයක් යොදාගන්නෙමි. ලෝකයේ ළමා ජනගහනයෙන් 70%ක් වෙසෙන රටවල් 40ක් මේ සදහා උපයෝගී කරගෙන තිබේ. මෙම රටවල් 40 ළමයෙකුට ජීවත්විය හැකි වඩාත් ආරක්ෂිතම රට හා අනාරක්ෂිතම රට වර්ගීකරණය කර ඇත. ඒ සදහා පදනම් වී ඇත්තේ රටේ අපයෝජනයන් සිදුවන ආකාරය හා ඒවා විසදන ආකාරය සැලකිල්ලට ගැනීමෙන්ය. රටේ වින්දිත දරුවන් රැකගැනීමේ ‍නෛතික රාමුව, රජයේ ප්‍රතිපත්ති හා සිවිල් ක්‍රියාකාරකයින් ආදිය සාධක ලෙස යොදාගෙන ඇත. මේ සියළු වාර්ථා හා සමීක්ෂණවලට ලබා ගෙන ඇති දත්ත ඒ ඒ රාජ්‍යන්වලට අයත් ආරක්ෂක අංශවලට හෝ ළමා හා කාන්තා ආරක්ෂණ ආයතන වලට ලැබී ඇති පැමිණිලි මත සිදු කර ඇත. වාර්ථා නොවී ඇති සිදුවීම් විශාල සංඛ්‍යාවක් තිබිය හැකි බව අප සිහි තබා ගත යුතුය.

ඒ වර්ගීකරණයට අනූව නිර්දේශිත මිණුම් ලකුණ වන්නේ 100 අගයයි. යම් රටකට සියයේ අගය ලැබෙනවානම් එයින් අදහස් කරන්නේ ඒ රටේ කිසිදු ළමා ලිංගික අපයෝජනයක් සිදුනොවන බවයි. අවසනාවට ලෝකයෝ කිසිදු රටක් 100 අගය ලබා ගෙන නොමැත. එහෙත් වර්ගීකරණයට අනූව දැනට ලෝකයේ ළමයින්ට ආරක්ෂිතම හා ළමා ලිංගික අපයෝජන අඩුම රට ලෙස වාර්ථාවන්නේ 82.7ක අගයක් ලබා ගෙන තිබෙන එක්සත් රාජධානයයි.ඉන්පසුව පිළිවෙළින් ස්වීඩන්, කැනඩා, ඕසට්‍රේලියාව වර්ගීකරණය වී ඇත.ආසියාතික රටක් ලෙස ද.කොරියාව 71.6ක අගයක් ලබාගනිමින් හත්වෙනි ස්ථානයේත්, 63.8ක අගයක් ලබාගනිමින් ජපානය 10වන ස්ථානයේත් පසුවේ.ළමයෙකුට ජීවත්වීමට අනාරක්ෂිතම රට හෙවත් ළමා ලිංගික අපයෝජන වැඩිම රාජ්‍ය වන්නේ පාකිස්ථානයයි.එහි අගය 28.3ය. ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වන චීනයට ලැබී ඇත්තේ 36වැනි ස්ථානයයි.ඒ අනූව පෙනීයන්නේ ආර්ථික වශයෙන් කොතරම් ශක්තිමත් වුවද තම රටේ දරුවන් රැක ගැනීමට ඔවුන්ට තවමත් නොහැකි වී ඇති බවයි. මෙම සමීක්ෂණයට ශ්‍රී ලංකාව ඇතුලත් වී නැත.https://www.undispatch.com/here-is-how-every-country-ranks-on-child-safety/

ළමා ලිංගික අපයෝජනය සම්බන්ධ ලෝක තත්වය එසේ තිබිය දී ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසනය පිළිබද ලෝක තත්වය අධ්‍යනය කරමු. ලෝකයේ කාන්තාවනගෙන් 40%ක් සිය ජීවිත කාලය තුලදී ලිංගිකව හිංසනයකට ලක්වන බවත් ඉන් 10%කටත් අඩු ප්‍රමාණයක් නීතියේ පිහිට පතන බවත් ඉතිරි 90% කටත් වැඩි කාන්තාවන් නීතියේ පිහිට නොපතා සිටීමට කටයුතු කරබ බවත් world population review වෙබ් අඩවිය සදහන් කරයි. එයින් පෙනී යන්නේ දූෂණයට ලක්වන කාන්තාවන් හෝ දරුවන් ඉදිරියට නොපැමිණීම මෙරටට පමණක් නොව මුළු ලෝකයටම පොදු ලක්ෂණයක් බවයි.

ලෝකයේ වැඩිම ස්ත්‍රී දූෂණ ප්‍රමාණයක් වාර්ථාවන්නේ දකුණු අප්‍රිකාවයි. ඒ ජනගහනය 100,000කට 66,196ක් ලෙසයි. අප්‍රිකානු රටවල් ස්ත්‍රී දූෂණ වලත් ළමා ලිංගික අපචාරවලත් ප්‍රමුකව සිටින රටවල් බව පෙනී යයි. බොට්ස්වානා රාජ්‍ය දෙවැනි තැන හිමි කරගන්නේ 100,000ක ජනගහනයෙන් 1865ක කාන්තාවන් ප්‍රමාණයක් දූෂණයට ලක් වීමෙනි. කිසිදු ස්ත්‍රී දූෂණයක් වාර්ථා නොවූ රටක් ලෙස යුරෝපීය රාජ්‍යයක් වන ස්වට්සර්ලන්තය හා ඕසට්‍රියාව අතර පිහිටා ඇති ඉතා කුඩා රාජ්‍යයක් වන ලෙයිච්ටෙන්ස්ටෙයින්(liechtenstein) පෙන්වා දිය හැක. ජනගහනය 39,000ක් පමණය. ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව බින්දුවකි.රුසියාව,චීනය,ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල්ද ඉන්පසු පෙරමුනේ සිටි. අඩුම ළමා ලිංගික අපයෝජන ප්‍රමාණයක් හිමි එක්සත් රාජධානිය ස්ත්‍රී දූෂණ වාර්ථා වීම සම්බන්ධයෙන්ද සිටින්නේ ඉතා පහළ මට්ටමකය. එහෙත් වාර්ථාවන් පිරීක්සීමේදි එක්සත් රාජධානියද ඉතා වේගයෙන් එම ස්ථානය අහිමි කරගෙන යන බවක් පෙනේ. https://www.statista.com/statistics/283100/recorded-rape-offences-in-england-and-wales/ මේ සැබැදිය පිරික්සීමෙන් ඒ බව වඩා හොදින් තේරුම් ගත හැක.

මේ දත්ත වලට අදාල සැබැදි අවසානයේ සදහන් කරන අතර ඒවා පිරීක්සීමෙන් ඔබටද සාරාංශගත විශ්ලේෂණයක් සිදු කළ හැක. යුරෝපීය රටවල් තුල ළමා ලිංගික අපචාර හා ස්ත්‍රී දූෂණ වාර්ථාවන්නේ අනෙකුත් මහද්වීපයන්ට සාපේක්ෂව අඩුවෙන්ය. ඇමෙරිකානු මහද්වීපය තුල තත්වය මීට වඩා වෙනස්ය.

එකසත් ජනපදයේ වසරකට සාමාන්‍යෙයන් වයස අවුරුදු 12 හෝ ඊට වැඩි 463,634 දෙනෙක් ලිංගික අපචාර,වධහිංසා හා දූෂණයට ලක් වන බව වාර්ථා වේ. වයස අවුරුදු 34ට අඩු වින්දතයින් ප්‍රමාණය මුළු වින්දිතයින්ගෙන් 54%කි.එසේම සෑම ඇමෙරිකානු කාන්තාවන් 6ක් දෙනෙක්ගෙන් එක් අයෙක් ලිංගික අතරවරයන්ට ගොදුරු කරගැනීමට තැත් කිරීම් හෝ සම්පූර්ණ ස්ත්‍රී දූෂණයට ලක් වේ. ඇමෙරිකා එක්සත් ජනපදය තුල ලිංගික අතවරයට ලක්වන පිරිසගෙන් 82%ක්ම බාල වයස්කාර දැරිවියන්ය. ඒ වගේම සෑම වින්දිතයින් 10ක් ගෙන් එක් අයෙක් පිරිමි වින්දිතයකි. මෙලෙස දූෂණයට ලක්වන කාන්තාවන්ගෙන් 33%ක් සිය දිවි හානි කරගනු ලබයි. ස්වදේශීය ඇමෙරිකානුවන් වසරකට 5900ක් පමණ ලිංගික අතරවයට හෝ දූෂණයට ලක් වේ. https://www.rainn.org/statistics/victims-sexual-violence

ඉහත විස්තරයෙන් ඔබට පෙනී යන්නේ කුමක්ද? ලිංගික අධ්‍යපානය දරුවාට ලබා දීම හා ඒ පිළිබද දරුවා සමග විවෘතව දෙමව්පියන්,ගුරුවරුන් හා ඥාතීන් කතා කිරීම යන කාරණය තුලින් ළමා ලිංගික අපචාර හා ස්ත්‍රී දූෂණ යම් තරමක් අඩු කරගත හැකි බව මගේ නිගමනයයි.

මීළගට සමාජයේ යම් යම් පිරිස් තවත් යෝජනාවක් ඉදිරිපත් කිරමින් සිටි. ඒ නීත්‍යානුකූල ගණිකා නිවාස සදහා ඉඩ හසර වෙන් කිරීම යන්න. අධික කාමාශාවෙන් පෙළෙන්නනට ඔවුන්ගේ ලිංගික ආශාවන් තෘප්ති කරගැනීම පිණිස එවැනි ගණිකා නිවාස පවත්වාගෙන යාමට නීතියෙන් අවසර දීම තුලින් මෙවැනි අපචාර සිදුවූම් අඩු කරගත හැකි බව පෙන්වා දෙයි. මේ පිළිබදවද අපි විචාරාත්මක ඇසින් බලමු.

දැනට ගණන් බලා ඇති පරිදි ලෝකය පුරා විහිදී ඇති ගණිකාවන් ගණන මිලියන 42කි, ගණිකා වෘත්තීය නීතිගත වීම සම්බන්ධයෙන් කතා කිරීමේදී නෛතික තත්වය අනූව වර්ග 3කි.ඒ සීමා සහිත නීත්‍යානුකූල වූ රටවල්, මුළුමනින්ම නීත්‍යානුකූල වූ රටවල් හා නීතියෙන් තහනම් වූ රටවල් ලෙසයි.

සෑම යුරෝපීය රාජ්‍යක්ම පාහේ සම්පූර්ණ නෛතික අවසරයක් ගණිකා වෘත්තීයට ලබා දී තිබේ.එහෙත් එක්සත් රාජධානිය,ප්‍රංශය, ස්ඩීඩනය වැනි රටවල් කිහිපයක් පමණක් ලබා දී ඇත්තේ සීමා සහිත අවසරයකි. එක්සත් ජනපදයද සීමිත අවසරයක් ලබා දී ඇත. එහෙත් එක්සත් ජනපදය තුල ළමා ලිංගික අපයෝජන හා ස්ත්‍රී දූෂණ ඉහළ මට්ටමක පවතී. චීනයේ ගණිකා වෘත්තිය තහනම්ය. ලිංගික අපයෝජන හා ස්ත්‍රී දූෂණ වැඩිය. තායිලන්තය ගණිකාවන් සදහා මුළු ලොවම ප්‍රසිද්ධ වුවත් නීතයෙන් තහනම්ය. වැඩිම ස්ත්‍රී දූෂණ ප්‍රමාණයක් වාර්ථාවන රටේ ගණිකාවන් නීතියෙන් තහනම්ය.මැදපෙරදිග රාජ්‍යයන්වලත් ගණිකා වෘත්තිය තහනම් වුවත් ළමා ලිංගික අපයෝජන හා ස්ත්‍රී දූෂණ ඉහළ ප්‍රමාණයකින් වාර්ථා වේ. https://worldpopulationreview.com/country-rankings/countries-where-prostitution-is-legal

මේ කරුණු වලින් මට හැගී යන්නේ ගණිකා නිවාස නීත්‍යානුකූල වූ පමණින් මෙවැනි අපචාර අඩු කළ නොහැකි බවයි. ඉහත එක්සත් රාජධානයි සම්බන්ධව සපයා ඇති සබැදියට ඔබ පිවිස එම දත්ත පිරික්සුවේ නම් මේ බව තේරුම් ගත හැකිය. වාර්ෂිකව එක්සත් රාජධානියේ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය ඉහළ යයි. නමුත් ගණිකා නිවාස නීතීගත කිරීම තුලිනුත් යම් ප්‍රගතියක් අපට අපේක්ෂා කළ නොහැකිද?

ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි නීති ගත වීමකට කිසිසේත්ම අවසර ලැබෙන්නේ නැත.නමුත් එම නීතිගත කිරීම යහපත් ප්‍රතිඵල නැතුවාම නොවේ. අද ප්‍රසිද්ධියේ තමන්ම ස්වයං ලිංගික ශ්‍රමිකයන් බවට ප්‍රකාශ කරමින් එම ව්‍යාපරයේ යෙදෙන කාන්තාවන් සිටි මෙරට සිටින බව අපි දනිමු. එම නිසා මෙම තත්වය දෙස අප බැලිය යුත්තේ 50% ලෙසය. අපක්ෂපාතීවය. සාධාරණවය.

තත්වය මෙලෙස තිබියදී ලෝකයේ පැරණිතම වෘත්තිය වන ගණිකා වෘත්තිය සම්බන්දයෙන් රටවල් විවිධ ප්‍රතිපත්ති නිර්මාණය කරමින් සිටි. කාන්තාව ලිංගික ශ්‍රමිකයෙක් ලෙස සූරා කෑමට අවසර දීමක් ලෙස මෙය ඇතැමුන් දකි. යුරෝපය වැනි ගණිකා වෘත්තිය නීතිගත රාටවල් තුලත් තමාගේ අකමැත්තෙන් එම වෘත්තියේ යෙදීමට අවශ්‍යතාවයක් නැත.බලහත්කාරයෙන් යෙදවීමද සපුරා තහනම්ය. එක්සත් ජනපදය වැනි බලවත් රටක ගණිකා වෘත්තිය නෛතික වුවත් ස්ත්‍රී දූෂණ හා ළමා අපචාරවල නම් අඩුවක් නැත. එම නිසා මේ ක්‍රියා මාර්ගයද කොතරම් සිතිය යුතු දෙයක්ද?

 

දත්ත සලකා බැලීමේදී පෙනී යන්නේ අප්‍රිකානු හා ආසියානු රටවල් තුලත් ඉන් පසු එක්සත් ජනපදය තුලත් ළමා හා කාන්තා ලිංගික හිංසනයන් වැඩි වශයෙන් සිදුවන බවයි. ආසියාව යනු ලෝකයේ ප්‍රබල දාර්ශනිකයන් බිහි කළ කලාපයකි. ඒ දාර්ශනිකයන් විසින් සමස්ත කලාපයම වෙනස් කරන ලදී. එම දර්ශනයන් තුල කාන්තාව ඉතා අගනා සම්පතක් බවත් ඔවුන්ට හිමි විය යුතු තැන හිමි කරදීමටත් කටයුතු කර ඇති බව පෙනේ.

ඉන්දියාවේ දැනටත් නොනැසී පවතින දර්ශනයක් හා ආගමක් වන්නේ මහාවීරයන් විසින් ක්‍රි. පූ 6 සියවසේ මුල් භාගයේ හදුන්වා දුන් ජෛන දර්ශනයයි. එම දර්ශනය ඉතා අවිහිංසාවාදී එකක් විය. එපමනක් නොව එකළ ඉන්දියාවේ කාන්තාවට හිමි වී තිබූ පහත් තත්වයෙන් ඇයව මුදවා නිසි තැන පිහිටු වීමට අවශ්‍ය මූලික අඩිතාලමද යොදන්නේ ජෛන දර්ශනයයි. ජෛන දාර්ශනිකයින් කාන්තාවගේ වටිනාකම දැක එය ආරක්ෂා කිරීමට වෙහෙසගත්තේ කාන්තාව පූජනීය වස්තුවක් නිසාවෙනි.

ඉන්පසුව ගෞතම බුදුන් වහන්සේ ශ්‍රී සද්ධර්ම දේශනා තුලදීද කාන්තාවගේ වටිනාකම පෙන්වා දීමත් ඇයට ලැබිය යුතු ගරු බුහුමන් හා තැන ලබා දීමටත් සිය දර්ශනය තුලින් වෙහෙසගත් බව බෞද්ධයින් වන අපි සියල්ලෝම දනිමු.අවසානාවකට උන්වහන්සේගේ වර්ථමාන පුත්‍රෙයක්ම වයස අවුරුදු 15ක දැරිය මුදල් ගෙවා සිය පහත් ලිංගික ආශාවන් තෘප්ත කරගැනීමට යොදාගෙන තිබේ. එය වාර්තා වූ පළමු සිදු වීම නොවේ.

චීනයේ බිහිවන කොන්ෆියුසියානු දර්ශනය පවා කාන්තාව පූජනීය වස්තුවක් බවත් නිසි තැන ලබා දිය යුතු බවත් පෙන්වා දී තිබේ. එහෙත් අද චීනය ළමා ලිංගික අපයෝජනවලත් ස්ත්‍රී දූෂණවලත් ප්‍රමුඛස්ථානයක් ලබා ගෙන තිබේ. ජෛන හා බුද්ධ වැනි දර්ශණයන් බිහි වූ ඉන්දියාවේ කෙතෙරම් කාන්තාවන් දූෂණය වනවාද? ඉන්දියාව තුල ජනගහනය 100,000කට දූෂණය වන කාන්තාවන් ගණන  22,172කි.චීනය තුල  විවාහක හා සබදතා සහිත කාන්තාවන්ගෙන් 40%ක් ලිංගික හා කායික හිංසනයන්ට ලක්වේ.ආසියවේ වැඩිම ස්ත්‍රී දූෂණ සංඛ්‍යාවක් සිදුවන්නේ ඉන්දියාව තුල බව පෙනේ. ජපානයද බුදු දහමින් පෝෂණය ලැබූ රටකි.2020 වසරට අනූව ජනගහනය 100,000කට කාන්තාවන් 1289ක් දූෂණය වේ. https://www.tbsnews.net/world/countries-highest-rape-incidents-144499

 ශ්‍රේෂ්ට ආසියාතික දර්ශනයන්වන බෞද්ධ දර්ශනය, ජෛන දර්ශනය,කොන්ෆියුසියානු දර්ශනය බිහිවූ රාජ්‍යවන්වලවත් නිසියාකාරයෙන් එම දර්ශනය ඉගෙනගෙන නොමැති ව පෙනේ. ඒවායින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගෙන නොමැති බව පෙනේ. දර්ශනයක් වෙනුවට අප ඉදිරියේ ආගමක් පවතී. ඒ නිසා කාන්තාව යනු කවුරුන්දැයි අපි කාටවත් අවබෝධ වී නොමැත. එහි ප්‍රතිඵල ලෙස පහත සිදුවීම් අද අපිට අසන්නට,බලන්නට හා කියවන්නට සිදු වී තිබේ.

1. වයස අවුරුදු 15ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කොට තම මව හා මවගේ අනියම් සැමියා විසින් ඇයව ගණිකා වෘත්තියේ නියැලවීම

2. වයස අවුරුදු 25ක තරුණයෙක් සමග ෆේස්බුක් හරහා මිතුරුවන තවත් අවුරුදු 15ක දැරියකට සිදුවන ලිංගික අඩත්තේට්ටම් හා ඒ බව පැමිණිලි කිරීමට පොලීසියට යාමෙන් පසු පොලිස් නිළධාරියෙක් විසින් ඇයව අපයෝජනය කිරීමට තැත් කිරීම

3. වයස අවඅරුදු 19ක තරුණියක් බසයක් තුල ලිංගික අතවරයට ලක් වීම 

4. සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි දැරියකට ජෝතිෂ්‍ය ඉගැන්වීමට ගිය ගුරුවරයෙකු විසින් ලිංගික කාර්යන් සදහා ඇයව පොළඹවා ගැනීමට තැත් කිරීම

5. අවුරුදු 31ක පුද්ගලයෙක් සමග අවුරුදු 40ක එක්දරු මවක් ෆේස්බුක් හා මිතුරු වී එම පුද්ගලයා ඇයව තමන්ගේ පහත් කාමුක ආශාවන් වෙනුවෙන් යොදවා ගැනීම

6. අලෙවි නිළධාරියෙක් විසින් එක් පාසලක දියණියන්ගේ දුරකතන අංක ලබා ගෙන සූම් පැකේජ ලබා දෙන බව පවසමින් විවිධ අසභ්‍ය දෑ යොමු කොට ඒ ළමුන් ලිංගික කාර්යන් සදහා යොදවාගැනීමට තැත් කිරීම

7. එපමණක් නොව ඔබට මතකද යාපනයේ විද්‍යාව? බරපතල ලෙස ලිංගික අතරවරයට ලක් කොට ඝාතනය කරන සේයා දැරිය?

8. එපමණක් නොව මාතර වැටලූ බාලවයස්කාර දැරියන් යොදාගෙන සිදු කළ ගණිකා නිවාසය මතකද?

9. මාතර දිස්ත්‍රික්කයේම තම පියා විසින් පාසැල් යන තමන්ගේම දැරිය අපයෝජනය කරන සිදු වීම මතකද?

10. ස්ත්‍රී දූෂණයක් ලෙස නොගැනුනත් වේල්ලවීදියේ සිදුවීමද සිහියට ගන්න.

11. මහනුවර ප්‍රදේශයේ ආබාධිත ළමයින් සදහා වන පුහුණු පාසලේ පිරිමි ළමුන් දෙදෙනෙකුද කාන්තාවක් අතින් නොයෙකුත් කායික හා ලිංගික හිංසාවන්ට ලක් වී ඇති බවත් වාර්ථාවීම


මෙකී නොකී මේ සෑම සිද්ධියකින්ම පෙනී යන්නේ අපයෝජකයා ගැහැණු හෝ පිරිමි හෝ වේවා ඇය හෝ ඔහු තුල තිබෙන කාමුක හැගීම් පාලනය කර ගැනීමට තරම් ශක්තියක් ඔවුන් තුල නොමැති බවයි. සත්වයා ස්වභාවයෙන්ම කාමුක වුවත් මිනිසා වෙනස් වන්නේ උසස් බුද්ධි මට්ටම නිසා බව අපි දනිමු. සැබවින්ම අපි බුද්ධිමත් නම් මෙවැනි සිදුවීම් සිදු විය හැකිද? එසේනම් අපි එන්න එන්නම සබුද්ධියෙන් අබුද්ධියට ගමන් කරමින් සිටි.

ළමා අපචාරයක් සිදු කරන පිරිමියා හා ගැහැණියත් ස්ත්‍රී දූෂණයක් සිදු කරන දූෂකයාත් සිය හැගීම් පාලනය කරගත නොහැකිව එම වැරදි ක්‍රියා වල නිරත වන්නේ ඔහු හෝ ඇය නූගත් නිසා හෝ උගත් නිසා නොවේ.ඔහු හෝ ඇය අබුද්ධිමත්  නිසයි. ළමා අපචාරයකට ගොදුරුවන දරුවා වින්දයින් වන්නේ එම දරුවන් තුල ඒ පිළිබද දැනීමක් නොමැති නිසයි. ලිංගිකත්වය පිළිබද දැනුමක් ලබා දීම තුලින් සබුද්ධිමත් හා ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දිය හැකි දරුවන් රට තුල නිර්මාණය කිරීම රජයේත් පුරවැසි අප සැමගේත් යුතුකම හා වගකීම වන්නේය. 

කණගාටුවට කරුණ වන්නේත්, අකමැත්තෙන් වුවත් පැවසීමට සිදුවන්නේත් ළමා ලිංගික අපචාර හා ස්ත්‍රී දූෂණ සදහා චූදිතයින් බවට චීවර ධාරීන් ඇතුළු පූජ්‍ය පක්ෂය වාර්ථා වීමයි. එක අතකින් ගත් කල බුදු රජාණන් වහන්සේ දේශනා කල ශ්‍රේෂ්ට වූ දර්ශනය ආගමිකින් වසා දැමීම තුලින් මෙවන් ඛේදජනක සිදුවීම් අසන්නට දකින්නට ලැබීම පුදුමයට කරුණක් නොවේ.

ලිපිය කියවන පාඨකයාටද සිතීමට යමක් තැබිය යුතු බැවින් මේ අවස්ථාවෙන් මෙම දීර්ඝ ලිපිය ලියා අවසන් කරමි.

                                                    ධම්මික සදරුවන්

මූලාශ්‍ර

https://www.newsfirst.lk/2020/02/11/5891-child-abuse-cases-reported-from-2012-2020/

http://saiihe.com/wp-content/uploads/bsk-pdf-manager/PROJECT_-_SITHTHI_SARINA_158.pdf

 


2 comments:

  1. ඇත්තටම සඳරුවන් මහත්තයා මම මේ වන විට ජනප්‍රිය මාධ්‍යකියවීම නැරඹීම හා සවන් දීම යන තෙවැදෑරුම් කාරණාවලින් අයින් වෙලා ඉන්නේ! ඒකට තියෙන ප්‍රධාන කාරණය වන්නේ ඉන් සිදුවන ඒක පාර්ෂ්වීය සංනිවේධනයදුටු විට අංක එකෙන්ම මල පැනීම! ඒ නිසාම වත්පොතෙන් තමයි බොහෝ කාරණා කාරණා දැන ගන්න්නේ! එවිට සම-හරක් "ඌ එහෙම කලා නම් වැඩ්ඩෙක්" යනුවෙන් කොටුවේ පොඩි සාදු පිළිබඳ පෝස්ට් දානකොට දැම්ම එකාගේ අම්ම තාත්තා සිහිකරලා දාන කොමෙන්ට් කියවලා හිත සැහැල්ලු කරගැනීමට පුළුවන් වෙනවා.
    මා දරුවන් දෙදෙනෙක් ලොකු මහත් කල (ආදරණීය) පියෙක්! මෙහිදී "ආදරණීය" යන්න වරහන් තුල ගොනු කලේ මම එහෙම හිතන නිසා.
    ඒ දරුවන් දෙදෙනා එකෙක් පුතෙක්.
    ඔවුන්ව; අම්මා වෙතින් බේසමේ දමා හිල් පොල්කට්ටෙන් නාවන කාලයෙන් පසුව කිසිදු දවසක නිර්වස්ත්‍රයෙන් මම නාවා නැත!
    මොනම අවස්ථාවකදීවත් ආවරනයකින් තොරවූ තැනෙක මුත්‍රා කිරීමට ඉඩ සලසා නැත!
    ප්‍රසිද්ධියේ ඇඳුම් උනා දැමීමට හෝ ඇඳුම් මාරු කිරීමට අනුබලදී හෝ අවසර දී හෝ නැත!
    අවම වශයෙන් ඔවුන්ව ඉතා කුඩා කාලයේ නාවන අවස්ථාවලදී ඔවුන්ගේ රහස් ප්‍රදේශයන්ගේ සබන් ආලේපය පවා ඔවුනට කරගැනීමට උගැන්වූවා මිස කිසිදා අප විසින් ඉටු නොකලෙමු!
    "ඕන වැඩිහිටියෙකුට තම ආදරය ප්‍රකාශ කිරීමට සිප ගැනීමට හැක්කේ ඔබේ හිස් මුදුන පමණි!, කිසිම අවස්ථාවකදී ඔබව අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න!, ඔබෙගේ පියා හා සොහොයුරා හැරෙණ්නට වෙනත් කිසිවෙකු ඔබගේ කාමරයට ඇතුළු වුවහොත් ඔබ එහි රැඳී නොසිටින්න! . . . . . . . . . . . . . . . දුවේ ඔයා කසාද බැඳලා ඔයාගෙ හස්බන්ඩ් එක්ක ගිය දවසට එයාට දෙන්න තෑග්ගක් ඔයා ලඟ තියෙන්නෝන, ඒක තමයි ඔයාගේ නිරුවත. අපි කාටහරි තැග්ගක් දෙන්නේ කොලේකින් රැප් කරලානේ. අපි කවදාවත් බර්ත් ඩේ එකට දෙන්න තියෙන තෑග්ග් ඊට කලින් එයාට පෙන්නන්නේ නෑනේ. එහෙම මෙන්නුවොත් එයාට ඒ තෑග්ගේ අගයක් නැති වෙනවානේ. ආන්න ඒ හිංදා ඔයාගෙ නිරුවත ඔයා බඳින දවස වෙන තුරු ආවරණය කරගෙන ඉන්න ඕනෙ! ඇත්තටම හෝ කැමරාවක් ඉදිරියේ වත් ඔයා නිරුවත් නොවිය යුත්තේ ඒ නිසයි!" කියන තැනට වෙන තුරු මා මගේ දියණියට අවවාද දුනිමි. මේ හැම දෙයකින්ම අප සිදු කොට ඇත්තේ අපගේ දරුව මේ විෂම සමාජය තුල අපයෝජනයට පත් නොවී පරිස්සම් කර ගැනීමයි.
    සත්තකින්ම අද වන විට රටේ මහත් හඬෙකින් කියැවෙන ලමා අපචාර සිද්ධිය ගෙන බැලුව හොත් එහි ප්‍රධාන වරද සිදුවී තිබෙන්නේ ඔවුන්ගේ මවගෙන් ලෙස පෙනී යයි.
    කිසිදු සිද්ධියක් අපට රටේ පවතින පාලන ක්‍රමය හෝ සමාජ ක්‍රමයෙන් වියෝ කොට ගැනීමට බැරි බව කෙසේ වෙතත් තම දරුවන් දෙනෙත් සේ බලා කියා රැක ගන්නා; දෙනෙත් නොපෙනෙන මව්වරුන්ද මේ රටෙ සිටිනා බව අම මතක් කර ගත යුතු වෙනවා.
    බොහෝ අපරාධ වල මොන්ටිසෝරිය වී ඇත්තේ තම නිවස බව බොහෝ කාරණා සොයා බැලූවිට තේරුම් ගැනීමට හැකි බව මාගේ පෞද්ගලික අදහසයි.
    ඒ කෙසේ වෙතත් ඔබ ලියා ඇත්තේ සුපිරි ලිපියක්!
    එවන් ලිපි කියැවීමෙන් විඳීමෙන් පසු මාතබන මුද්‍රාව මා මෙලෙසින් තබන්නම්!
    එළ!

    ReplyDelete
  2. දරුවා ආරක්ෂා කිරමේ වගකීම සම්පූර්ණයෙන්ම යන්නේ දෙමව්පියෝ දෙන්නට. නමුත් ගැහැණු ළමයා විතරක් නෙමේ පිරිමි දරුවා ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙයි

    ReplyDelete